Dr. Wijayananda Rupasingha

 

සභ්‍ය අසභ්‍ය භාවය පුද්ගල දෘෂ්ටිය අනුව වෙනස් වෙනවා

 
විජයානන්ද රූපසිංහ
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හිමිකාරිත්වය, ජනමාධ්‍ය ප්‍රතිපත්ති, පුවත්පත් කලා ඉතිහාසය හා අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ පර්යේෂණ රැසක නියැළුණු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහයන්, මේ සංලාපය මඟින් අවධාරණය කරන්නේ යම් කිසි ප්‍රකාශනයක සභ්‍ය අසභ්‍ය බව නිර්මාණාත්මක ප්‍රවේශයන් හරහා අතික්‍රමණය කළ හැකි බවයි.
ළමා හා තරුණ පරම්පරාවට පවතින සංස්කෘතිකමය සීමාවන් යටතේ වුවද ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට වැඩපිළිවෙළක් සැකැසීමේ වැදගත්කම ගැන ද ඔහු මෙහිදී සිය අවධානය යොමු කරයි.
යම්කිසි ප්‍රකාශනයක් අසභ්‍ය යැයි නම් කළ හැක්කේ කවර නිර්ණායකයන්හි පිහිටා සිටිමින් ද?
ලෝක ඉතිහාසයේ එවැනි ලිඛිත මූලාශ්‍රයක් නම් සොයා ගැනීමට අපහසුයි. නමුත් සමාජයෙන් බිහි වූ යම් යම් සම්මුතින් තිබෙනවා. යමක් ප්‍රසිද්ධියට පත් කිරීමේදී ඒ සමාජය හැදී වැඩුණු සංස්කෘතිය මේ සියල්ලට ම බලපෑම් කරනවා.
උදාහරණයක් විදියට අපි නිදහස් පුරවැසියන් වුණාට, අපි අපේ නිදහස පාවිච්චි කළ යුතු වන්නේ තවත් කෙනෙකුට හානියක් නොවන පරිද්දෙනුයි. ඕනෑ ම දෙයක් සාහිත්‍යමය වශයෙන් හෝ රූපණමය වශයෙන් ප්‍රකාශනය කිරීමේ නිදහස අපිට තිබුණට, අපි එහෙම නොකිරීමට වගබලා ගන්නේ සංස්කෘතිකමය බැඳීම නිසයි. ගෝත්‍රික යුගයේ සිට විකාශනය වුණු නූතන අවදිය දක්වා මේ දේවල් පැවැති බවට සාක්ෂ්‍ය හමු වෙනවා. මේක ඒ ඒ රටවලට, ඒ ඒ සංස්කෘතීන්ට, ඒ ඒ පුද්ගලයන්ට අනුව තීරණය වෙන දෙයක්.
අසභ්‍ය ප්‍රකාශන නමින් එළිදකින ප්‍රකාශන මාධ්‍යයේ ආරම්භය සනිටුහන් වන්නේ කවර කාලයක ද?

මිනිසා යම් යම් දේ ප්‍රකාශනය කිරීමට පටන් ගන්නා මූලික කාලයේ පටන් මෙය පැවැතිලා තිබෙනවා. සමහර අවධින්හි ඒ කාලවකවානුව අනුව අසභ්‍ය නොවන නමුත් මේ වන විට අසභ්‍ය යැයි නම් කෙරෙන කලා නිර්මාණත් අපට හමුවෙනවා. වික්ටෝරියානු පාලන ක්‍රමය යටතේ නිර්මාණය වන, හැදෙන වැඩෙන යම් යම් සංස්කෘතිකමය සීමා ලෝකය පුරා විසිරී යනවා.
බ්‍රිතාන්‍ය ඉතා විශාල යටත් විජිතයක් පාලනය කළ නිසා ඔවුන්ගේ දේ ලොව පුරා විසිරී යෑමේ හැකියාව වැඩියි. මේ නිසා විවිධාකාර සීමාවන්ට මිනිස්සු යටත් වෙනවා. ඊට ;පර බොහෝ නිදහසේ සිතුවමක් නිර්මාණය කළ පුද්ගලයෙක් මේ සීමාමය තත්ත්වයන් යටතේ තමන්ට තිබූ ඒ නිදහස අහිමි කරගන්නවා.
13 හා 19 වැනි සියවස්වල යුරෝපය පුරා Porno Vave නමින් රැල්ලක් බිහිවුණා. මේ රැල්ල හරහා බිහිවූ කෘතියක් වනජ්භදදර hill (1820) මඟින් ප්‍රථම වරට ලිංගික මැක්සර්යය උපදවන කතාවක් නිර්මාණය වී තිබුණා. ඊට අමතර ව එංගලන්තයේදී වේදිකාගත වුණු ‘ඩ්චඪප’ නමැති වේදිකා නාට්‍යයෙන් ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවක ස්ත්‍රී, පුරුෂ නිරුවත වේදිකාගත කෙරුණා. ඒ නිසා ම ඩ්චඪප මුල් දර්ශනයෙන් ම තහනමටත් ලක් වුණා. අසැබි ප්‍රකාශනවල නූතන යුගය සනිටුහන් වන්නේ බොකාසියෝ විසින් ලියනු ලැබූ ‘ඩෙකොමෙරොන්’ (Decomeran) කෘතිය මඟින්. එහි වර්ධනීය තත්ත්වය යටතේPlay Boy, Penthouse, Play girl වැනි සඟරා බහුල වශයෙන් බිහිවුණා.
සිනමාවට මේ රැල්ල එන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට නේද?
සිනමාව පටන් ගන්නේ 19 වැනි සියවසේ අවසාන කාලයේ. මුල් ම කාලයේ තෝමස් අල්වා එඩිසන්ගේ පොඩි පොඩි අත්හදාබැලීම්වලට වුණු වාරණයන් අපි දකිනවා. ‘හාද්ද’ (The Kiss)  කියන කෙටි දෘශ්‍ය පටය දැක්කම ඒ සමාජයේ ආගමික පාර්ශවයන් ඉතාමත් කැලැඹුණා. නමුත් සිප වැලැඳ ගැනීම ඒ සමාජයේ අතිශය සාමාන්‍ය දෙයක්.
සිප වැලැඳ ගැනීම කියන ඔවුන්ගේ සමාජයේ අතිශය සාමාන්‍ය දෙය රූප මාධ්‍ය හරහා එනකොට අසභ්‍ය ප්‍රකාශනයක් ලෙස තමයි ඔවුන්ට පේන්න ගත්තේ. තමන්ගේ සංස්කෘතිය ඇතුළේ සාධාරණීකරණය වූ අතිශය සාමාන්‍ය දෙය පවා රූප මාධ්‍යයට එනකොට විශේෂයෙන් ආගමික මතවාදයන් ඊට දැඩි සේ විරුද්ධ වුණා. නමුත් සිනමාව මේ සියලු වාරණයන් අතික්‍රමණය කළා.
අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ කතිකාවේ ආසියානු කලාපය ගැන විමසීමේදී ඉන්දියානු සාහිත්‍යයේ එන වාත්ස්‍යායනගේ ‘කාම සූත්‍ර’ දෙසට බොහෝ විචාරකයන් අවධානය යොමු කරනවා.
වාත්ස්‍යනයන්ගේ අද්විතීය කලා නිර්මාණය ලෙසයි ‘කාම සූත්‍ර’ පිළිගැනෙන්නේ. මෙය ලියැවුණා යැයි අනුමාන කරන්නේ ක්‍රි. ව. 04 - 05 වැනි කාල වකවානුවක. භාරතීය ජනතාව ‘කාමය’ සලකන්නේ තමන්ගේ චතුර් වර්ග සම්පත්තියෙන් එකක් විදියටයි. ඔවුන් එය ශාස්ත්‍රයක්, විෂයයක් ලෙස ප්‍රගුණ කොට ඇති බව පැවැසෙනවා.
පරිච්ඡේද 36 කින් සමන්විත වුණු මෙහි මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරගැනීම සඳහා උපදෙස් සහිත ශ්ලෝක එක්දහස් දෙසීය පනහක් (1250) අඩංගුයි. ප්‍රධාන කොටස් හතෙන් එක් කොටසක් ‘කාම රංගය සහ නොයෙකුත් රති ශිල්පයන්’ විස්තර කිරීම සඳහා වෙන් වී තිබෙනවා. මෙය හුදු අසභ්‍ය ප්‍රකාශනයක් යැයි ඉන්දියානු සමාජය සැලැකුවේ නැහැ. එය සංස්කෘතිකමය කාරණයක්.
‘කාම සූත්‍ර’යේ ඉංගි‍්‍රසි පරිවර්තනයට හැඳින්වීමක් සපයමින් කේ. එම්. පනික්කාර් (K.M. Panilkkar) පවසනවා, ‘යම් කිසි පාඨකයෙක් මේ කෘතිය අසභ්‍ය ප්‍රකාශනයක් ලෙසින් රස විඳීමට අරමුණු කරනවා නම් ඔහුගේ බලාපොරොත්තු කඩවෙන බවත්, මේ කෘතිය පුරා ම සදාචාරවාදියකුගේ අදහස් කවා ඇති බවත්.’
මේක ඒ ඒ සංස්කෘතීන්ට අනුව වෙනස් වෙනවා. එක්තරා කාලයක් තිබුණා ‘කාම සූත්‍ර’ පොත ලංකාවට ගෙන එන්න තහනම්. කාම සූත්‍ර පොත ආවොත් ගුවන් තොටුපළේදී එය රාජසන්තක කරගන්නවා. එවැනි තත්ත්වයක් තිබුණේ. නමුත් ඉන්දියාවේ බොහෝ නිදහසේ ඒ පොත පරිහරණය කිරීමේ හැකියාව තිබෙනවා. මෙය උපදේශාත්මක කෘතියක් පමණයි.
කාම සූත්‍රයේ බලපෑම ඉන්දියාවේ මූර්තිවලත් දකින්න ලැබෙනවා. ‘ඛාජුරාවෝ’ හා ‘කෝනාරුක්’ වැනි ස්ථානවල තිබෙන ප්‍රතිමා කාම සූත්‍රයේ දැක්වෙන විවිධ අංග මූර්තියට නැඟීමක් බවයි බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබෙන්නේ. නමුත් ඉන්දීය කලා ශිල්ප දෙස බටහිර දෘෂ්ටි කෝණයෙන් බලන විට අසභ්‍ය දේ ප්‍රකාශනය වන අංග ඇතත්, එය හින්දු ආගමික ඉගැන්වීම් අනුව එසේ වන්නේ නැහැ. හින්දු කලා නිර්මාණයන්හි සභ්‍ය අසභ්‍ය බව නිගමනය කළ හැකි වන්නේ ඒවා විමර්ශනය කරන පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණය අනුව.
ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ කතාබහට පෙර කරළියට පැමිණුනේ රසවාදයේ එන ශෘංගාර රසය පිළිබඳවයි.
මුල් කාලීන සිංහල ගද්‍ය පද්‍ය කෘතීන් ශෘංගාරය මූලික කොට ගෙන රචනා නොවූවත් ශෘංගාරය දනවන ඇතැම් පද ඒවායේ දක්නට ලැබුණා. කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත ‘කාව්‍යශේඛරයෙහි’ සඳහන් වුණු ඇතැම් පද්‍ය නූතන ලිංගික ප්‍රකාශනයන්හි ස්වරූපය ගත් බවක් පෙනී යනවා.
අනෙක් කාරණය රාහුල හාමුදුරුවන් කාම සූත්‍රයෙන් ලද නොමඳ ආභාසයත් මේ නිර්මාණ ඔස්සේ පැහැදිලි වෙනවා. කාව්‍යශේඛරය විතරක් නොවෙයි, රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශයේ එන ඇතැම් කවි, සැළලිහිණි සන්දේශයේ එන ඇතැම් කවි කාම සූත්‍රයේ ආභාසයට නොමඳ ව ලබා ගත් බවට නිදසුන් විදියට දක්වන්නට පුළුවන්.
මේ අනුව නිර්මාණාත්මක ප්‍රවේශයේදී අසභ්‍ය යන්න, අතික්‍රමණය කළ හැකි විෂයය පථයක් බව අපේ පැරැණි සාහිත්‍ය අනුව පෙනී යන කාරණයක්.
ශෘංගාරය දනවන පළමු කවි පොත විදියට සැලැකෙන්නේ මාතර යුගයේ විසු සමරජීව පත්නායමේ ලේකම් විසින් රචනා කරන ලද ‘වියොවගරත්නමාලය’යි. මාතර සිටි ‘වත්තුහාමි’ කවියා රචනා කරන ලද ‘සුවිරාගමාලය’ නමැති කෘතියේ තරුණ කල සිට ම එක්වි සිටි අඟනක් වෙන් වී යාමෙන් කෙනෙකුට ඇතිවන වියෝ දුක ප්‍රකාශ කර ඇය නැවත ගෙන්වා ගැනීමට යවන හසුනක් පිළිබඳව කියැවෙනවා.
මෙහි දැක්වෙන සම්පූර්ණ රති වර්ණනාව විස්තර කිරීමට අපහසු බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ පවසා තිබෙනවා. ඊට අමතර ව ‘රතිරත්නාලංකාරය’ නමින් සිව්පද පෙම් පොත් ගණනාවක්ම තියෙනවා. එයින් දුනුවිල ගජනායක නිලමේගේ පොත සහ මාතර යුගයේ දී මිදෙල්ලව කෝරාලගේ පොත රතියණි ලිංගිකත්වය ප්‍රකාශිත පද්‍ය සංග්‍රහ ලෙසින් සලකන්න පුළුවන්.
පන්සිය පනස් ජාතක පොතේ එන ‘නලිනී’ ජාතක කතාව ගන්න. එයත් වත්මන් දෘෂ්ටිය අනුව අසභ්‍ය ලක්ෂණ පෙන්නුම් කරන්නක්. නමුත් මේවා පැරැණි ගද්‍ය සාහිත්‍යමය නිර්මාණ. ඒවා අසභ්‍ය ගණයේ ලා නොසැලකෙන්නේ එහි පවතින නිර්මාණාත්මක ප්‍රවේශය නිසයි.
නමුත් අද වන විට නිර්මාණාත්මක බවින් වියුක්ත වී හුදු කාම ප්‍රකාශන ගණයට වැටෙන පුවත්පත් රැල්ලක් බිහි වී තිබෙනවා.
අපේ රටේ පුවත්පත් කලාව හැම වෙලාවෙ ම වර්ධනය වුණේ බ්‍රිතාන්‍යයට සාපේක්ෂ ව බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ සවස පුවත්පත් එනකොට ලංකාවෙත් සවස පුවත්පත් බිහිවුණා. බ්‍රිතාන්‍ය අසභ්‍ය ප්‍රකාශන රැල්ලක් වර්ධනය වුණු විට ලංකාවෙන් එය එසේ වුණා.
මේ ප්‍රකාශනවල මුල් පිටුවේ නිරුවත් හෝ අඩනිරුවත් ලලනාවකගේ හැඟීම් දනවන සේයාරුවක් පළ වුණා. ඇතුල් පිටුවල තවත් සරාගි හැඟීම් අවුස්සන සුළු ඡායාරූප හා කතා අඩංගු වුණා. මේ තත්ත්වය දරුණු වෙන්නේ 70 දශකයේ අග භාගයේදී.
77 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මේ සඳහා දැඩි ලෙස බලපෑම් කළ බව නොරහසක්.
ඔව්. විවෘත ආර්ථිකයත් එක්ක මේවා ඉතා සරල දේවල් බවට පත්වෙනවා. ඒකට හේතුව වන්නේ පෞද්ගලික මුද්‍රණාල බහුල වශයෙන් බිහිවීම. ඒ නිසා වර්ණ මුද්‍රණයන් සුලබ වෙනවා. ඒ විතරක් නොවෙයි මේකට තවත් දෙයක් බලපෑම් කළා. ඒ තමයි මිනිසුන්ට විනෝදාස්වාදය සපයන මාධ්‍යයන්හි ඒ කාලේ දියුණුවක් තිබුණේ නැහැ. දරිද්‍රතාවය, යුද්ධය, සමාජ පීඩනය වැනි කරුණු නිසා මිනිසුන්ගේ මානසික සුවතාවය වර්ධනය වෙන්නේ නැහැ.
රූපවාහිනී මාධ්‍ය පැමිණියත් එය මුල් කාලයේ ධනවතුන්ගේ මාධ්‍යයක්. තරුණ හා වැඩිහිටි පරම්පරාව පුවත්පතට ආකර්ෂණය වෙන්නේ මේ අඩුව පුරවාගන්නටයි. නමුත් අද වන විට මේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒ කාලේ බිහිවුණු ලියතඹරා, සීදේවි, සුරස, සුරඟන, සරාඟි, සුරබිදෙන, රසඟන, රසඳුන, අතිරස, මියුරස, මියුරුවී වැනි අසභ්‍ය ගණයේ ප්‍රකාශන අද වැඩිය දක්නට නැහැ. අන්තර්ජාල පහසුකම් වර්ධනය වීමත් ඩීවීඩී මඟින් ඕනෑම දෙයක් සංසරණය කර ගැනීමේ හැකියාව තිබීමත් නිසා තරුණ පරපුර මේවායින් ඈත් වී තිබෙනවා.
තාක්ෂණයේ දියුණුව නිසා පුවත්පත් මඟින් කළ ඒ කාර්යය අද වන විට වෙනස් මඟකට යොමු වී තිබෙනවා. නමුත් මේ සඳහා ඇති ඉල්ලුම අඩු වී නැහැ. එය වෙනත් මාධ්‍යයක් කරා ප්‍රවේශ වීමයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා මෙවැනි දේ ඇසුරු කිරීම වළක්වා ගැනීමට ක්‍රමවේදයක් අප සකසා ගත යුතුව තිබෙනවා. අපේ රටේ පාසල් අධ්‍යාපනය ලබන පිරිසට ලිංගික අවබෝධය ලබාදීමේ ක්‍රමවත් හා දියුණු වැඩපිළිවෙළකට යාමේ අවශ්‍යතාවය අපට තියෙනවා. මූලික ලිංගික අධ්‍යාපනය නොලැබීම නිසයි මෙවැනි දේ සඳහා තරුණ පරපුර යොමු වන්නේ.

Silumina  -  punkalasa - 2010 -02 -28

================================================================================

No comments:

Post a Comment