"දොඩම් කෑමට රුසි කකුල් හයේ අශ්වයෙක් මෙන්න" යන සිරස්තලය යටතේ අද අප්‍රේල්, 01 දා ( යාන්තමින් හෝ පාසැල් ගිය අප කොයි කවුරුත් දන්නා මෝඩයන්ගේ දිනයදා) අප පලකළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්ද මේ වනවිට අප වෙත මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතී.
අප පාඨකයෙකු එවූ සංස්කරණය කළ නිර්මාණශීලි අශ්ව ඡායාරූපයක් පාදක කරමින් අප එම ප්‍රවෘත්තිය ගොනු කළේ, විශේෂයෙන් අද දිනයේ වැදගත්කමද සැලකිල්ලට ගෙන හුදෙක් විනෝදය වෙනුවට කිසියම්ම වූ බුද්ධිමය ආශ්වාදයක් පාඨක ඔබ වෙත ලබා දීමටය.
අද “Daily Mirror" හා “Sunday Times” පුවත් පත් හා ඒවායේ වෙබ් අඩවි මගින්ද මේ ආකාරයේ මෝඩයාගේ දින ප්‍රවෘත්ති පළකර තිබූ අයුරුත් ඒවා කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව කොපි කරමින් ඇතැමුන් තමන්ගේ වෙබ් අඩවි වල පළකර තිබෙන අයුරුත් දැකීමෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය හා පාඨකයින්ගේ බුද්ධිමත්කම ගැනත් විටක විනෝදයකුත් විටක අපි අපි ගැනම අතිශය සංවේගයකටත් පසුතැවිල්ලකටත් පත් වූ බවද මෙහිදී වෙසෙසින්ම සඳහන් කළ යුතුය.
මේ පිළිබඳව “Sunday Times” කර්තෘ සිංහ රත්නතුංග මහතා ප්‍රකාශ කළේ, වෙබ් අඩිවයේ පළ වන ප්‍රවෘත්ති සම්බන්ධව තමන් හට කිසිදු වගකීමක් නොමැති බවයි.
“Daily Mirror" කර්තෘවරිය සම්බන්ධ කර ගැනීමට දැරූ සියළු උත්සාහයන් ව්‍යර්ථ විය.
"විමසුම" කියවන ආධුනික පිරිස් වෙත් නම් ඔවුන් ගේ දැන ගැනුම පිණිස කුමක්?, කවුරු?, කෙසේ?, කවදා ?කොතනද? යන ජනමාධ්‍යයක පළ කරන වගකිවයුතු ප්‍රවෘත්තියක අඩංගු විය යුතු මූලික සිද්ධාන්ත කිහිපයක් ඇති බව මුලින්ම සඳහන් කළ යුතුය.
මෙම ප්‍රවෘත්තිය හුදෙක් එම සිද්ධාන්තවලට පටහැනිව හුදෙක් කැලෑ පත්තර සිද්ධාන්තයෙන් රචනා කළ එකක් බවට අවබෝධ විය යුතුය. එහි ආනයනික කකුල් හයේ සත්ත්වයෙකු ගැන සඳහන් වෙතත්, එම සත්ත්වයා ගෙන්වූ රට පිළිබදවත් ප්‍රදර්ශනය කරන සත්තු වත්ත ඇත්තේ කොහිද? කියාවත් ගෙන්වූයේ කවුරුන් කුමන අවශ්‍යතාවයකට කියාවත් සඳහනක් හෝ නැත. අඩුම තරමින් ප්‍රවෘත්තිය ලබාදුන් මූලාශ්‍රය පිළිබඳවත් එහි කිසිම සඳහනක් නැත.
තවද එම ප්‍රවෘත්තියේ සඳහන් කරුණු බුද්ධිමත් “විමසුම” පාඨකයින් නොමග යා හැකි ආකාරයෙන් කිසිසේත්ම රචනා නොවූ බවද එම ප්‍රවෘත්තිය කියවා ගෙන යන සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට එය වැටහෙන බවද නොකිවමනාය .
මෙම අශ්වයාගේ දෛනික ආහාරයට දොඩම් ගෙඩි 5,000 ක් පමණ අවශ්‍ය වන බවත් මෙම ප්‍රවෘත්තියේ සඳහන් කියමන ගැන පසක් වනවිට අප සිහි කැඳවිය යුත්තේ හුදෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ මිළ ගණන් ඉහළ දැමීමට ඇතැම් ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිස් මාධ්‍ය භාවිතා කරන්නේ යම් සේද එසේම කූට වෙළෙන්දන් තමන්ගේ යල් පිනූ භාණ්ඩ විකුණා ගැනීමට කූට ප්‍රචාර උපක්‍රම ගෙන යන්නේ යම් සේද ඒ ආකාරයෙන් දොඩම් වෙළෙන්දුන් සන්තර්පනය කිරීමේ අටියෙන් වක්‍රව මෙම ප්‍රවෘත්තිය රචනා වී ඇති බවකුයි.
පසුගියදා සක්විති රණසිංහලා ගේ පිටු ගණනින් පලකළ දැන්වීම්වලට රැවටී රුපියල් ලක්ෂ කෝටි ගණනින් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කළ මුදල් නැති කරගත් පිරිසත්, ගෝල්ඩන් කී මුදලාලිලාගේ ඉච්ඡා බස් වලට රැවටී දැන් දුක් විඳින සමාජයේ උගත් වැදගත් පිරිස් ගැන සිහි කැඳවන විටත්, මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකර හුදෙක්ම උදර පෝෂණයේ යෙදෙන දේශපාලකයින් මොන්ටෙරෝ, ප්‍රාඩෝවල නැගී යන උජාරු ලීලාව දකින විටත් අපට පසක් වන්නේ රැවටීමට උගත් නූගත් දුප්පත් පොහොසත් කිසිදු භේදයක් නොමැති බවයි.
එසේ නම් පනින්ට පෙර සිතා බලන ලෙසත්, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවත් අපේ පැරන්නන් කීවේ කටකහනවට නම් නොවන බව සිහි තබා ගත යුතුය.
“මුද්‍රණ ද්වාරයෙන් එළි දකින ඕනෑම අකුරක් දුටු පමණින් විශ්වාස කරනු වෙනුවට ඒ පිළිබඳ තම නැණ පමණින් විමසා බලා කරුණු හදාරන” ලෙස ජනමාධ්‍යයේ “අ” යන්න අපට ඉගැන්වූ ගුරු පියෙකු දුන් ඔවදනක්ද මෙහිදී අවසානයේ සඳහන් කළ හැකිය.
2/04/2009 Vimasuma
======================
න්‍යායාත්මක දැනුම නැති මාධ්‍යවේදීන් මුල් නැති ගස් වගේ
| |
ආචාර්ය අජන්තා හපුආරච්චි
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජන්තා හපුආරච්චි ජනසන්නිවේදන විෂයය ලංකාවේ ජනපි‍්‍රය වීමෙන් අනතුරු ව එහි දෙවන පරම්පරාවට එනම් 80 දශකයට අයත් සන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රමුඛ වෙමින් මෙරට 70 දශකයේදී ඇරැඹි සන්නිවේදන විෂයය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් බවට පත්විය.
මේ විෂයය ධාරාව අද වන විට ජනපි‍්‍රය ම විෂයයක් බවට පත් කිරීමේ මූලික ම ප්‍රණාමය හිමි විය යුත්තේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රමුඛ මෙකී විද්වතුන් පෙළටයි. සන්නිවේදන විෂයය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළ ආචාර්ය අජන්තා හපුආරච්චිගේ නවතම සන්නිවේදන කෘතිය ‘සන්නිවේදනය හඳුනාගැනීම’ නමින් පසුගියදා නිකුත්විණි. ඒ නිමිතිකොට පුන්කලස මුවදොර වදන සංලාපයට එක් වූ ඇය, ජනසන්නිවේදනය හැදෑරිය යුත්තේ ජනපි‍්‍රය මාධ්‍යවේදියකු වීමට නොවේ යැයි අවධාරණය කරන්නී ය.
ජනසන්නිවේදනය විෂයයක් ලෙස වර්ධනය වන්නේ අන්තර් වෛෂයික ආභාසයකින් නොවෙද? හැරල්ඩ් ලැස්වෙල්, පෝල් ලැසාෆෙල්ඩි, කාල් හවුලන්ඩ්, විල්බර් ශ්‍රාම් වැනි සන්නිවේදන පුරෝගාමියෝ සියල්ලන් ම සාමාජීය විද්‍යා කේෂ්ත්‍රයට අයත් අය ලෙසයි අප හඳුනාගන්නේ.
ජනසන්නිවේදනය නමැති විෂයය ක්‍ෂෙත්‍රය මූලික ව ආරම්භ වන්නේ සමාජීය විද්‍යාවන් අනුසාරයෙන්. එයට මූලික හේතුව වන්නේ ජනසන්නිවේදනයේ මූලාරම්භය සනිටුහන් කරන හැම විද්වතෙක් ම මූලික ව වෙනත් විෂයයන් හැදෑරූ අය වීම. එබැවින් ජනසන්නිවේදනය සාමාජීය විද්‍යාවන්ගේ ආභාසය නොඅඩුව ලබා තිබෙනවා. දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, දර්ශනය, භූගෝල විද්‍යාව ආදී සෑම විෂයය ක්‍ෂෙත්‍රයක ම ආභාසය හා කොටස් මේ විෂයයට එකතු වී තිබෙනවා. ඒ නිසා මේ විෂය ධාරාව සියලු ම පවතින දේ සංග්‍රහ කරගත් අධ්‍යයන ක්‍ෂෙත්‍රයක්.
එය දේශපාලන විද්‍යාවට, ජීව විද්‍යාවට, මනෝ විද්‍යාවට ආදී සෑම ක්‍ෂෙත්‍රයක් සමඟ ම සහසම්බන්ධතා පවත්වනවා. මේ විෂය සුවිසල් පෞරුෂයක් සහිතව ගොඩනැඟෙන්නෙත් ඒ නිසයි. අන්තර් විෂයය හා අන්තර් න්‍යායාත්මක කරුණු එකතුවෙනුයි ජනසන්නිවේදනය විෂයයක් ලෙස වර්ධනය වෙන්නේ. මේ න්‍යායාත්මක කරුණු නිවැරැදි ව හා ගැඹුරින් විග්‍රහ කර ගැනීමෙන් අනතුරුවයි ප්‍රායෝගික පක්‍ෂයට යා යුත්තේ. ජනසන්නිවේදනය කියන්නේ න්‍යායාත්මක අඩිතාලමක ගොඩනැඟිය යුතු ශක්තිමත් ප්‍රායෝගික විෂයයක්.
ජනසන්නිවේදනය විෂයයක් ලෙස හැදෑරීම වෘත්තීය ජනමාධ්‍යවේදියකු වීම සඳහා සුදුසුකම් සැපිරීමක් යැයි බොහෝ විද්‍යාර්ථීන් සිතනවා. ජනසන්නිවේදනය හැදෑරිය යුත්තේ මාධ්‍යවේදියකු වීමේ අරමුණින් පමණක්ද?
සන්නිවේදන විෂයය පිළිබඳ ව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට හා පාසල් සිසුන් අතරට වැරැදි මතයක් ගිහින් තියෙනවා. සන්නිවේදනය හැදෑරිය යුතු වන්නේ් ජනපි‍්‍රය ජනමාධ්‍යවේදියකු වීමටයැයි බොහෝ දෙනා සිතනවා. සන්නිවේදනය හැදෑරීමේ මූලික පරමාර්ථය විය යුත්තේ එය නොවෙයි. ජනපි‍්‍රය මාධ්‍යවේදියකු වීම එහි අවශේෂ කාරණයක්. ජනසන්නිවේදනයේ ප්‍රායෝගික පක්‍ෂය වන්නේ වෘත්තීයවේදියකු වීම තමයි.
නමුත් සන්නිවේදනය කියන්නේ ඊට වඩා පෘථුල න්‍යායාත්මක විෂයය පථයක්. ඒ පසුබිමේ සිටයි ප්‍රායෝගිකත්වය ප්‍රයෝජනයට ගත යුත්තේ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථියකුගෙන් හරි පාසල් සිසුවකුගෙන් හරි ජනමාධ්‍ය විෂයය තෝරා ගන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළොත් එක පාරට ම ‘මට මාධ්‍යවේදියෙක් වෙන්න ඕන, ඒ නිසයි ජනමාධ්‍ය තෝරා ගත්තේ’ කියලා කියනවා. මේ විෂයය හැදෑරීමේ අරමුණ කොතනකදී හෝ විකෘති වී සමාජගත වී තිබෙනවා.
වෙනත් රටවල සන්නිවේදනයේ ප්‍රායෝගික පක්‍ෂය ස්වයං අධ්‍යයනයක් ලෙසයි ඉදිරිපත් වන්නේ.
මාධ්‍යවේදියා හා සන්නිවේදකයා හඳුනා ගැනීමට එය ඉතා ප්‍රයෝජනවත් විධික්‍රමයක්. මෙහිදී මුලින් ම තමන් කවුද කියා තමන් හඳුනා ගත යුතු වෙනවා. කණ්ණාඩියක් ඉදිරිපිටට ගොස් අපි අපේ හැඩරුව හඳුනා ගන්නවා වගේ අපි අපේ අභ්‍යන්තර කුසලතා, පෞරුෂය හඳුනා ගත යුතු වෙනවා. අපේ අභ්‍යන්තරික පෞරුෂය නිවැරැදි ව වටහා ගැනීමට අපට තනි ව ම බැහැ. ඒක උගන්වන්නේ මේ ස්වයං අධ්‍යයන සංකල්පය මඟින්.
මිනිස්සු අපි ගැන සිතන විදිය, අපි අපි ගැන සිතන විදිය ආදිය එකතු කරලා තමයි මේ සංකල්පය ගොඩනඟන්නේ. අනෙක් කාරණය මෙහිදී වැදගත් වන තවත් මූලධර්මයක් තියෙනවා, ඒ තමයි ස්ත්‍රී පුරුෂ භාවය. කාන්තාවක් ප්‍රශ්නයකදී ඊට පිළිතුරු සපයන විදිය, සමූහ සන්නිවේදනයේදී හැසිරිය යුතු විදිය, අන්තර්වර්තී සන්නිවේදනයේදී ගනුදෙනු කරනා විදිය පමණක් නොවෙයි ගෙදරදී සැමියා සමඟ ගනුදෙනු කරනා විදියත් යනාදී වශයෙන් සෑම භූමිකාවකදී ම සිය කාන්තා භාවය රැක ගනිමින් සන්නිවේදනය ඉටු කරනා අන්දම මෙහිදී සාකච්ඡා වෙනවා.
ජීව විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව මේ සංසිද්ධීන් පිළිබඳ අද සන්නිවේදන විෂයය ඇතුළේ සාකච්ඡා කෙරෙනවා. මෙවැනි නව ප්‍රවේශයන් කරා අද සන්නිවේදන අධ්‍යයනය ගමන්කොට තිබෙනවා.
මාධ්‍ය අධ්‍යයනය, මාධ්‍ය සාක්‍ෂරතාවය ආදිය රුසියාව ජපානය වැනි රටවල තිහේ දශකයේදී පමණ පාසල් විෂයය ධාරාවට පවා ඇතුළත් වුණත් ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමින් හෝ එවැනි අධ්‍යයන ධාරාවන් සන්නිවේදන විෂයය පද්ධතියට ඇතුළත් වූයේ 70 දශකයේදී පමණ නේද?
ඇත්තෙන් ම ලංකාවට සන්නිවේදන විෂයයේ බොහෝ ප්‍රවේශයන් තාමත් ආගන්තුකයි. මාධ්‍ය අධ්‍යයනය හා නිර්මාණාත්මක ලෝකය අතර වෙනසවත් අපේ විද්‍යාර්ථින්ට හරි හැටි ඉගැන්වෙන්නේ නැහැ. ටෙලිනාට්‍යයක් බලද්දි අපි ඒ ටෙලිනාට්‍යයේ චරිතවලට ආවේශ වී එහි කොටස්කරුවන් වීම නොවෙයි ළමයින්ට උගැන්විය යුත්තේ. එය නිර්මාණයක් බවත් එහි නිර්මාණාත්මක පක්‍ෂය පිළිබඳ අවධානය යොමු කළ යුතු අන්දමත් පිළිබඳවයි පැහැදිලි කළ යුත්තේ.
මාධ්‍ය අධ්‍යයනයේදී කළ යුත්තේ එකී සන්දේශයන්හි සන්දර්භය හා විකාශනය පිළිබඳ අවබෝධයක් විද්‍යාර්ථීන්ට ලබාදීමයි. බටහිර රටවල ළමයින්ට මාධ්‍ය අධ්‍යයනයේදී මේ සියලු දේ කියා දෙනවා. අපි දකින රූපයට එහායින් තිබෙන රූපයේ තමයි නියම අරුත තිබෙන්නේ කියා ඔවුන් දැන් දන්නවා. ගොඩක් වෙලාවට මාධ්‍යයෙන් සංස්කෘතිය විනාශ වෙනවා, භාෂාව විනාශ වෙනවා කියලා කෑගහන්නේ මෙන්න මේ වෙලා තියෙන විපර්යාසය තේරුම් ගන්න බැරිකමටයි.
අපේ සමාජය තේරුම් ගන්න ඕන, අපි දැන් සන්නිවේදන අවධීන් බොහොමයක් පහුකරලා මේ පැමිණ සිටින්නේ තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන යුගයට බව. හරිනම් දැන් අපි තොරතුරු තාක්‍ෂණ යුගයත් පහුකරලා ඉන්නේ. තාමත් මේ අවධියට නමක් දීලත් නැහැ. මේ වෙනස්වීම් සඳහා ඍජු ව ම මුහුණදෙන විෂයය වන්නේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයයි.
අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන්හි පවා ශීඝ්‍ර වෙනස්කමක් දක්නට ලැබෙනවා.
ඔව්. අපි ඉගෙන ගත්තේ අන්තර්වර්තී සන්නිවේදනය (Intrapersonal communication) පුද්ගලාන්තර සන්නිවේදනය (Interperson communication) සමූහ සන්නිවේදනය (Group team Communication) ආදී වශයෙන්. නමුත් අද භාවිතා කරනවා, මාධ්‍ය පාදක සන්නිවේදනය (Mediated Communication) කියලා ක්‍රමවේදයක්. නූතන සන්නිවේදන තාක්ෂණය දියුණු වීමත් එක්ක ම විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය අන්තර්ජාල සන්නිවේදනය යොදා ගෙන වාණිජවාදී අරමුණු ඉටුකර ගැනීම මේ ක්‍රමවේදයෙන් අදහස් කරනවා.
වෙළෙඳ දැන්වීම් මාධ්‍ය පාලක සන්නිවේදනයට හොඳ ම උදාහරණයක්. ඊළඟට යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනය (Machine - Assisted Interpersonal Communication) කියලා තවත් මාධ්‍ය අධ්‍යයන ක්‍රමවේදයක් පැමිණ තිබෙනවා. සන්නිවේදකයන් එක් කෙනෙක් හෝ වැඩි ප්‍රමාණයක් යාන්ත්‍රික මෙවලම් උපකාරයෙන් එක් ග්‍රාහකයකු හෝ බහු ග්‍රාහකයන් සමඟ සන්නිවේදනය කිරීම මෙමඟින් හඳුන්වා දී තිබෙනවා. බැංකුවක ස්වයංක්‍රීය මුදල් ගනුදෙනු කිරීමේ යන්ත්‍රය (Automated teller) මේ සඳහා උදාහරණයක්. මෙවැනි දියුණු මාධ්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් මේ වනවිට සන්නිවේදන විෂයය ක්ෂේත්‍රයට ඇතුළත් වී තිබෙනවා. මෙය වෘත්තියවේදයක් පමණක් ම නොවෙන්නේ ඒ නිසයි.
අද මාධ්‍ය වෘත්තිකයන් සන්නිවේදනයේ න්‍යායාත්මක පක්ෂය භාවිතයේදී නොවැදගත් වන බවට මත පළ කරනවා.
න්‍යායාත්මක ගොඩනැඟීම නොමැති මාධ්‍යවේදීන් හරියට මුල් පොළවට තදින් සවිමත් නොවූ ගස් වගේ. ඕන ම සුළු සුළඟකදී පවා වැනෙන්නේ ඔවුන්. සන්නිවේදනයේ ආචාර ධර්මීය පදනම, සංස්කෘතික බලපෑම සන්නිවේදන සබඳතා විධික්‍රම ආදිය ඇතුළු න්‍යායාත්මක පදනම දැනනොගත් මාධ්‍යවේදීන් අද මාධ්‍ය සදාචාරයක් පිළිබඳ නොදැනුවත්, ආචාර ධර්ම පිළිබඳ කිසිවක් නොදන්නා පිරිස් ලෙස මාධ්‍ය රඟමඬලේ රඟපෑම් කරන බව අපි දකිනවා. හැදෑරීම සහ ප්‍රායෝගික භාවිතය කියන දෙක ම එකතු වෙනවා නම් වර්තමාන මාධ්‍ය භාවිතය මේ තරම් පරිහානිකර වෙන්නෙත් නැහැ.
ඔබ කියන්නේ මාධ්‍ය වෘත්තිකයකු ජනමාධ්‍යයේ න්‍යායාත්මක පක්ෂය අනිවාර්යයෙන් ම හැදෑරිය යුතු බවද?
වෘත්තිය දැනුම තියෙන මාධ්‍යවේදියා හැකි සෑම විට ම හැකි ඉක්මනින් න්‍යායාත්මක පක්ෂය අධ්‍යයනය කළ යුතුයි. එය වෘත්තියට ආභරණයක්. මාර්ටින් වික්‍රමසිංහයන් සන්නිවේදන විෂයය පිළිබඳ උපාධිධාරියකු නොවුණාට එතුමා බහු විද්‍යාවන් පිළිබඳ ව ම පසු කාලයේ නිපුණයකු බවට පත් වුණා. ඒ තම ස්ව අධ්‍යයනයෙන්. ඔහු අතිශය අවිවේකී ලෙසින් පොතපත පරිශීලනය කළ විද්වතෙක්. ඔහු අන්තර් විෂයයික වශයෙන් පෝෂණය වීම මීට හොඳ උදාහරණයක්.
නමුත් අද එවැනි දැනුමැති අය නැහැ. මේ සඳහා විශ්ව විද්‍යාලයට ම යන්න ඕන නැහැ කියන එකට මාර්ටින් වික්‍රමසිංහයන් හොඳ නිදර්ශනයක්. අද එදා වගේ නොවෙයි. දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයන් ඉතා බහුල ව තිබෙනවා. කියවීම දැනුවත් භාවය සඳහා හොඳ මාර්ගයක්. අද මාධ්‍යවේදින්ට එදා වගේ කියවීම සඳහා පොත්පත් පමණක් ම නොවෙයි තියෙන්නේ. පරිගණකය, රූපවාහිනිය මාධ්‍ය රූප සන්නිවේදනය අද ඉතා දියුණුවට පත් වී තිබෙනවා.
අද වනවිට සියලු දේ ක්ෂණික ලෙස ලබාගැනීමේ මෙවලම් හා ක්‍රියාදාමයන් පවතින බැවින් පොත් කියැවීමට යොමු වන පිරිස අඩු වි ඇති බවකුත් කියැවෙනවා.
පොත් විතරක් තිබුණු යුගයේ පොත් හැර වෙන ක්‍රමයක් තිබුණේ නැහැ දැනුම ලබා ගන්න. එදයි අදයි සංසන්දනය කරමින් එදා පොත් කියෙව්වා අද කියවන්නේ නැහැ කිව්වට එදා පොත් කියවනවා හැරෙන්නට වෙන කිරීමට යමක් නොතිබුණු බව මේ මිනිසුන් නොහිතන්නේ ඇයි කියන එක මට ගැටලුවක්. අපි ඉස්සර ජාතක පොත් වහන්සේ ඇතුළු පොත් කියෙව්වේ ඊට වැඳ නමස්කාරය කරමින්. එදා අපිට රූපවාහිනි හෝ පරිගණක තිබුණේ නැහැනේ. අද මේ මාධ්‍ය හැම එකකට ම ග්‍රාහක පිරිස් බෙදී යනවා. කියැවීම අඩුවෙලා නැහැ. අනුපාතය හරියට ගණනය කර ගැනීමටයි බැරි වී තිබෙන්නේ. එදා ජනගහණයට සාපේක්ෂ ව පොත් කියවපු පිරිසට වඩා අද ජනගහනයට සාපේක්ෂ ව පොත් කියවන අය වැඩි ඇති කියලා මම අනුමාන කරනවා.
පසුගිය දිනෙක ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක සිළුමිණ පුවත්පතට ප්‍රකාශයක් කරලා තිබුණා, පරිගණකයෙන් කිසිදිනෙක බුද්ධිමතකු බිහි කළ නොහැකි බව.
එක පැහැදිලි සත්‍යයක්. පරිගණකයෙන් අපට ලබාදෙන්නේ අප ඉල්ලන දේ පමණයි. පරිගණකයෙන් දත්ත සෙවිය යුත්තේ අපිමයි. පොතක් සමඟ සිදුවන මානව ගනුදෙනුව ඊට වඩා වෙනස් දෙයක්. පරිගණකය හා කරන ගනුදෙනුවත් පොත් හා මනස කරන ගනුදෙනුවත් පරිකල්පනය කියන සාධකය මත වෙනස් වෙනවා. පරිගණකයට අණ නිකුත් කරන්නේ අප විසිනුයි. නමුත් පොතක් කියවද්දී අපේ මනස පරිකල්පනය සමඟ ඒකාත්මික වෙනවා. පොතක් කියන්නේ අසීමිත චින්තනමය ගනුදෙනුවක්.
Silumina - punkalasa - 2010 - 07 - 25
========================================================================
|
No comments:
Post a Comment